ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ පහළ කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට යුද හමුදාව මැදිහත් වී කටයුතු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඉදිරි පැය 24 ක කාලය තුළදී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බව එම සංවිධානය පවසා සිටියා.

ඒ අනුව, අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් මේ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට දන්වා ඇති අතර, මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙසට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටියා.

හෙට (24) දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශයට යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සිදු කර දීමට කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.