උඩුදුම්බර නකල්ස් රක්ෂිත ප්‍රදේශයේ ගල්ගුහාවක රඳවා සිටියදී සොයාගත් 15 හැවිරිදි දැරිය සහ ඇය විසින් ප්‍රසූත කරන ලද දෙමස් වයසැති බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මහනුවර ජාතික රෝහල වෙත ගොස් තිබේ.
රෝහලේ අදාළ වාට්ටු සංකීර්ණය වෙත ගිය අමාත්‍යවරිය, එහි ප්‍රතිකාර ලබන දැරියගේ සහ බිළිඳාගේ සුවදුක් විමසා බලා ඔවුන්ගේ ඉදිරි ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නාය. මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන්ගේ ළමා කාලය මෙන්ම අධ්‍යාපන අවස්ථා අහිමි වී ඔවුන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක්වීම වැළැක්වීම සඳහා පවතින නීති පද්ධතිය දැඩි නීතිමය පියවර ගත හැකි ආකාරයට කඩිනමින් යාවත්කාලීන කළ යුතු බව අමාත්‍යවරිය අවධාරණය කළාය. එසේම, දරුවන් මෙවැනි අවදානම් සහගත තත්ත්වයන්ට පත් කිරීමට වගකිව යුතු දෙමව්පියන්ට එරෙහිවත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර, මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ මේ වන විට අදාළ දැරිය සහ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.




