හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොඨ්ටාසයට අයත් දියගම වනාන්තර පද්ධතියේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සහ එහි අවිධිමත් ලෙස බැහැර කර ඇති කසළ ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (20) දින පැවැත්විය.

දියගම වනාන්තරය තුළ සිදු කළ පිරිසිදු කිරීමේ කටයුතු වලට අමතරව, එහි ස්වභාවික වනාන්තර ලක්ෂණ ආරක්ෂා වන පරිදි රුක් රෝපණය සිදු කිරීමද මෙහිදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් සුමාර ගමගේ මහතා අවධාරණය කරන ලද්දේ දියගම ක්‍රීඩා සංකීර්ණය අවට ඇති මෙම වනාන්තර පද්ධතිය ප්‍රදේශයේ පවතින ඉතා වැදගත් පරිසර කලාපයක් බවයි.

මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව Eco Tourism ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

එසේම සංවර්ධන කටයුතු වලදී පරිසරයට හානි වීමට ඉඩ නොතබන බවත් , කලාපය පිරිසිදුව පවත්වා ගැනීමට ඉදිරියේදී ආරක්ෂිත වැටවල් ඉදිකිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.