2025 වසරේදී බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හමුවේ කලා ඔය ප්‍රදේශයේදී ආපදාවට පත් මගී බස් රථයක සිර වී සිටි පුද්ගලයන් 69 දෙනකු නිරුපද්‍රිතව බේරා ගැනීමට දායක වූ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් තිදෙනකුට ජාත්‍යන්තර හා ජාතික ජීවිතාරක්ෂක පදක්කම් පිරිනමා තිබේ. ඒ අනුව, ඔවුන් වෙත පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සේවා පදක්කම සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක වීර පදක්කම මෙන්ම ඊට අදාළ සහතිකපත්ද පිරිනමා ඇත.
නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අනුයුක්ත සමූහ ප්‍රධාන සුළු නිලධාරී එස්.ඒ.ඊ.එල්. සේනවිරත්න, නායක නැවි බී.කේ.ඒ. ප්‍රසාද් සහ බල නැවි එස්.ටී.ඩී. අබේරත්න යන නිලධාරීන් වෙත මෙලෙස පදක්කම් සහ සහතිකපත් පිරිනැමිණි.
මෙම පදක්කම් ප්රදානෝත්සවය ඊයේ (19) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth යන අයගේ ප්‍රධානත්වයෙනි. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජකීය ජීවිතාරක්ෂක සංගමය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන, නාවික හමුදා මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අතුල සේනාරත්න සහ එහි ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.



