ග්‍රාමීය සංවර්ධනය සඳහා වෙන් කළ රුපියල් බිලියන 35කින් අදාළ වාර්තා ආවරණය කරන කාලය තුළ වැය කර ඇත්තේ රුපියල් බිලියනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නොවැම්බර් 27 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ග්‍රාමීය මාර්ග, බෝක්කු, ස්වයංරැකියා සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා වෙන් කරන මුදල් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති බවට පත්කිරීම ආණ්ඩුවේ වගකීම බවයි. ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යා අනුව වැය කර ඇති ප්‍රමාණය සමස්ත ප්‍රතිපාදනයෙන් සියයට තුනකට ආසන්නය.

අයවැයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳව විපක්ෂය ප්‍රශ්න නොකරන බවත්, ප්‍රශ්නය වන්නේ එම මුදල් ප්‍රායෝගිකව සංවර්ධන කටයුතුවලට යෙදවෙන්නේද යන්න බවත් රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් වන ලේඛනවල ඇතැම් වැඩසටහන්වල වියදම් ප්‍රගතිය සියයට හත, අට සහ දහය වැනි අඩු මට්ටම්වල පවතින බවද ඔහු සඳහන් කළේය. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රකාශිත ප්‍රතිපාදන සැබෑ සංවර්ධන වැඩ බවට පත් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

මේ අතර, නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සැප්තැම්බර් අවසානය දක්වා දත්ත අනුව වෙනස් වියදම් අගයක් දැක්වේ. එහි ඒ 6.2 වගුවට අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සංශෝධිත ප්‍රාග්ධන ප්‍රතිපාදනය රුපියල් බිලියන 35.48කි. සැප්තැම්බර් 30 වැනිදා වන විට වැය කර ඇති මුදල රුපියල් බිලියන 2.51ක් වන අතර, එය ප්‍රතිපාදනයෙන් සියයට 7.1කි.