ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් ඇතුළු ඩිජිටල් වත්කම් විධිමත් අධීක්ෂණයකට සහ නියාමනයකට යටත් කිරීම සඳහා විශේෂ නීතිමය රාමුවක් සකස් කිරීමට සහ ස්වාධීන නියාමන අධිකාරියක් පිහිටුවීමට රජයේ මූලික අනුමැතිය හිමිව තිබේ. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළේ අදාළ වැඩපිළිවෙළෙහි ප්‍රතිපත්තිමය අදියර මේ වන විටත් සාර්ථකව නිමවා ඇති බවයි.
ක්ෂේත්රයේ විවිධ පාර්ශ්වයන්ගේ සහ විද්වතුන්ගේ යෝජනා සැලකිල්ලට ගනිමින් සම්පාදනය කළ යෝජිත පනත් කෙටුම්පතේ මූලික පිටපත මේ වන විටත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේය. ඩිජිටල් වත්කම් ඔස්සේ සිදුවිය හැකි මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වෙමින් මෙරට මූල්‍ය පද්ධතියේ සහ ඩිජිටල් යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම නව ප්‍රතිපත්තිය යටතේ අතථ්‍ය වත්කම් මෙරට තුළ පිළිගත් ගෙවීම් මාධ්‍යයක් ලෙස හඳුනා නොගන්නා අතර, ඒවා ආයෝජන අවස්ථාවක් හෙවත් “වත්කම් කාණ්ඩයක්” ලෙස පමණක් නීත්‍යනුකූලව පිළිගැනේ. ඒ අනුව, නියාමනය ක්‍රියාත්මක වන පළමු අදියරේදී දෛනික භාණ්ඩ හා සේවා ගෙවීම් සඳහා ක්‍රිප්ටෝ වත්කම් භාවිත කිරීමට අවසර නොලැබෙන අතර ආයෝජන මෙවලමක් ලෙස පමණක් භාවිත කළ හැකිය.
තවද, මෙම අංශයේ සියලුම සේවා සපයන ආයතන නියාමන ක්‍රියාවලියට යටත් කෙරෙන අතර, ගනුදෙනුවල විනිවිදභාවය තහවුරු කෙරෙන ජාත්‍යන්තර “ට්‍රැවල් රූල්” (Travel Rule) වැනි දැඩි නීතිමය යාන්ත්රණයන්ට යටත්ව ක්‍රියාත්මක වීමට සිදුවනු ඇත. ඉදිරි 2027 වසරේ තුන්වන කාර්තුව වන විට මෙම නව නියාමන අධිකාරිය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.
