වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාර විෂ වීම හේතුවෙන් සිසුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

එම පාසලේ 3 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ළමුන් පිරිසක් මෙලෙස රෝගාතුර වී ඇති අතර, බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් සහිත උදෑසන ආහාරය අනුභව කිරීමෙන් පසු මෙම තත්ත්වය ඇති වී තිබේ. වමනය, ක්ලාන්තය සහ පපුවේ වේදනාව හේතුවෙන් සිසුන් රෝහල්ගත කළ බව වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේය.

රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍යවරයා තහවුරු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.