අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කුසලතා වර්ධනය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සාකච්ඡා කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ මෙරට මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා අතර මෙම හමුව නොවැම්බර් 27 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරටේ සෞඛ්‍ය පද්ධති සතු අත්දැකීම් සහ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමත්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෘත්තීය හැකියාවන් දියුණු කිරීමත් එහිදී අවධානයට ලක්ව ඇත.

පවතින සම්පත් සහ තාක්ෂණික දැනුම ඵලදායීව යොදාගනිමින් සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ ජනතාවට එම සේවා ලබාගැනීම පහසු කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් හුවමාරු කරගැනීම සහ දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමට මාධ්‍යයට කළ හැකි දායකත්වයද හමුවේදී සලකා බලා ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව මාලදිවයිනට ලබාදුන් රුපියල් මිලියන පහකට වැඩි වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගය වෙනුවෙන් මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.