ඉරානයේ උත්තරීතර නායකයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී ඇති අතර, මෙය වසර ගණනාවකට පසු එරට පාලනයට එල්ල වූ විශාලතම බලපෑම ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ටෙහෙරානය සහ දෙවන විශාලතම නගරය වන “මාෂාඩ්” හි පැවති සාමකාමී විරෝධතා සඳහා විශාල ජනකායක් සහභාගී වී ඇති අතර, විරෝධතා මර්දනය කිරීමේ පියවරක් ලෙස බලධාරීන් විසින් එරට පුරා අන්තර්ජාල සබඳතා අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙසත්, දැනට පිටුවහල් කර සිටින හිටපු ෂා රජුගේ පුත් රේසා පහ්ලවී යළි මෙරටට ගෙන්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

දින 12 ක් පුරා පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව විරෝධතාකරුවන් 34 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 08 දෙනෙකු මිය ගොස් ඇත.

තවද 2,270 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

ඉරාන රියාල් මුදල් ඒකකය සීඝ්‍රයෙන් කඩා වැටීම සහ උද්ධමනය 40% දක්වා ඉහළ යාම හේතුවෙන් මෙම විරෝධතා ආරම්භ වූ අතර, රජයේ දූෂණය සහ වැරදි කළමනාකරණය නිසා ජන ජීවිතය දරාගත නොහැකි මට්ටමට පත්ව ඇත.