”ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති සහ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රජා සංවර්ධන සභා නියෝජනය කරන සභාපතිවරු හා ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රජා සංවර්ධන සභා සම්බන්ධීකරණ කමිටු පිහිටුවා ඇති අතර ග්‍රාමසේවා වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා මගින් සකස් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති මෙම කමිටුවට ඉදිරිපත් කිරීමෙන් ප්‍රමුඛතාගතකරණය සිදුකරනු ලබයි.

ඒ අනුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සංවර්ධන සභා සම්බන්ධීකරණ කමිටුව ඊයේ (27) දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි රැස්විය.

එහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා සඳහන් කලේ මින් ඉදිරියට ගමේ සංවර්ධන වැඩසටහන් ප්‍රජා සංවර්ධන සභා මගින් පමණක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

මෙම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනී රණසිංහ මහත්මිය, කැලණිය ප්‍රාදේශීය සභා සභාපති සඳෞන් යාපා මහතා, උප සභාපති ලක්ෂිකා සුභාෂිණි මහත්මිය, පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් මහතා, ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.