එළඹෙන පෙබරවාරි මස 04 දින සිට 11 දින දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සංවිධානය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස (18) පස්වරුවේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් බැහැදකින ලදි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලබන පෙබරවාරි 04 දින මෙරටට වැඩම කරවීමටත් එම ධාතූන් වහන්සේලා පෙබරවාරි මස 04 දින සිට 11 දින දක්වා කොළඹ ගංගාරම විහාරස්ථානයේ දී බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දීමටත් රජය සැලසුම් කර ඇත.

ඒ අනුව පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් සමග ධාතු වන්දනාව සංවිධානය කිරිමට යෝජිත පරිශ්‍රය නිරීක්ෂණය කරමින් ඊට අදාළ මූලික කරුණු සොයාබැලීමක් සිදු කරනු ලැබීය.
සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාවට අදාළ කටයුතු සැලසුම් විය යුතු ආකාරය පිළිබඳව පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් වෙතින් මෙහිදී අවශ්‍ය අනුශාසනා සහ උපදෙස් ලබාගත් අතර ඒ අනුව ඉදිරි සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කෙරේ.

මෙම සාකච්ඡාව සහ පරිශ්‍ර නිරීක්ෂණය සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා ද සහභාගි විය.