ඉඩම් බලපත්‍ර 10,000ක් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව සොරණාතොට, මීගහකිවුල සහ කන්දකැටිය ප්‍රදේශවල ඉඩම් බලපත්‍ර බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් එම අයිතිය නීත්‍යානුකූලව ලබාදීමට කටයුතු කර ඇති බවයි.

පසුගිය ආණ්ඩු සමයේ ජනතාවගේ ඡන්දය ලබාගෙන ඔවුන්ගේ ඉඩම් අයිතිය නොසලකා හැර ඇති බවට චෝදනා කළ අමාත්‍යවරයා, ඌව පළාතේ ඉඩම් විශාල ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ බහුජාතික සමාගම් වෙත පැවරීමට ගත් උත්සාහයන්ට එරෙහිව වසර ගණනාවක් සටන් කළ බවද පැවසීය.

මෙම බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය ලේඛනයක් ලබාදීමක් නොව, පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන වටිනා දේපළ අයිතියක් ජනතාවට පවරාදීමක් බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම බලපත්‍ර හිමියන්ට රජයේ සහනාධාර, වන්දි, කෘෂිකාර්මික ආධාර සහ නීත්‍යානුකූල සංවර්ධන කටයුතු සඳහා පහසුකම් හිමිවන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>