ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාර්ටින් මහත්මිය අතර අද (27) අදාළ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරටට බලපාන ආරක්ෂක අභියෝග පිළිබඳ අදහස් හුවමාරු කරගත් දෙපාර්ශ්වය, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.

සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම, මිනිස් ජාවාරමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

එමෙන්ම, මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකා සහ කැනේඩියානු රජයන් එක්ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුළු කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.