ලෝකයේ විවිධ රටවල පවත්නා ජනප්‍රිය ක්‍රීඩාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සහ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, දකුණු කොරියාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් වන “ජොක්ගු” (Jokgu) ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ නිල සමාරම්භක උළෙල අද (24) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
කොරියානු – ලෝක ජොක්ගු සම්මේලනයේ සභාපති හොං කී යොං මහතාගේ (Mr. Hong Ki-yong) සහ ජාත්‍යන්තර ජොක්ගු සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත නන්දන ඇඹුල්දෙණිය මහතාගේ මැදිහත් වීම මත, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ මගපෙන්වීම යටතේ මෙම සමාරම්භක උළෙල සංවිධානය විය.
මෙම වැඩපිළිවෙලේ මීළඟ අදියර ලෙස දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් පාසල්, විශ්වවිද්‍යාල සහ විවිධ ක්‍රීඩා සංවිධාන හරහා ජොක්ගු ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට නියමිතය. එසේම, මෙම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා තෝරාගත් පාසල් වෙත ක්‍රීඩා උපකරණ ලබාදීමේ වැඩසටහන් ද ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.
අවස්ථාවට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා එතුමාගේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ මෙසේය.
“අපි ලෝකයේ පවතින ඕනෑම ක්‍රීඩාවක් සඳහා ශ්‍රී ලංකාවේ දොරටු විවෘතව තබා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රීඩාවන් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරනවා සේම, අපේ රටටම ආවේණික වූ දේශීය ක්‍රීඩාවන් ජාත්‍යන්තර තලයට ගෙන යාම අපේ ප්‍රධාන බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රීඩාවන් කොරියාව තුළ ප්‍රචලිත කිරීමටත්, ඒ හරහා අපේ ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීමටත් කොරියානු රජයේ සහයෝගය අපි අපේක්ෂා කරනවා.”
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ Youtube චැනලයෙන් නැරඹිය හැකිය.





