බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, විදුලි ජනන වියදම ඉහළ යාම හේතුවෙන් විදුලි බිල 18%කින් වැඩි කිරීමට රජය තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, එම මිල වැඩවීමේ බලපෑම ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් 4.06%කට පමණක් සිදු වන බවද ඔහු අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.
විදුලිබල අමාත්‍යංශයෙන් ඉල්ලීමක් අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම මිල තීරණය ගෙන ඇති බවද ඔහු පැවසීය.

ඉන්ධන මිල ඉහළ යාම, වර්ෂාපතනය අඩුවීම සහ නැප්තා සඳහා වැයවන වියදම් වැඩිවීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ, ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධව ඇතිවූ මූල්‍ය අවාසිය මෙම මිල වැඩවීමේ තීරණයට බලපානවා නැති බවත්, එය සමාගම් විසින් ටෙන්ඩර් ක්‍රමවේදය තුළින් පියවා ගැනීමට කටයුතු කර ඇති බවත්ය.

ඉදිරි සැප්තැම්බර් මාසය දක්වා විදුලි බිල නැවත වැඩිවීමක් සිදු නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.