අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, රට තුළ ක්‍රියාත්මක වන නීතිවිරෝධී වැලි ජාවාරම පාලනය කිරීම සඳහා වැලි කළමනාකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට රජය සැලසුම් කර ඇති බව පැවසීය.

ඔහු සඳහන් කළේ, නිලධාරීන් මාරු කිරීමෙන් පමණක් ගැටලුව විසඳිය නොහැකි බවත්, පසුගිය කාලයේ ඇතැම් නිලධාරීන් සහ පද්ධතිමය දුර්වලතා හේතුවෙන් වැලි ජාවාරමට ඉඩ සැලසී ඇති බවත්ය.

එමෙන්ම, එක් ටිපර් රථයක් සඳහා නිකුත් කරන බලපත්‍රයක් භාවිත කර පැය 24ක් ඇතුළත කිහිප වතාවක් වැලි ප්‍රවාහනය කරන බවට තොරතුරු අනාවරණය වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඩිජිටල් අමාත්‍යාංශය සහ ආරක්ෂක අංශ සමඟ එක්ව තාක්ෂණය පදනම් කරගත් නව නිරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරි මාස දෙක තුන ඇතුළත වැලි කළමනාකරණයේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේය.