දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී අවධානය යොමු කර තිබේ. දියේ ගිලීම් හුදෙක් සමාජීය ගැටලුවක් පමණක් නොව, සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රතිචාරයක් අවශ්‍ය මහජන ආරක්ෂක සහ ජාතික ආරක්ෂක ගැටලුවක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) එහිදී පැවසීය.

පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් දිවයින පුරා ජීවිත ආරක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීමට තිරසාර හා විධිමත් බහු-විධ යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් පත් කළ බහුපාර්ශ්වික කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ සහ යෝජිත ක්‍රියාමාර්ග මෙම සාකච්ඡාවේදී සමාලෝචනයට ලක් විය.

නියමු ව්‍යාපෘතියක් ලෙස සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වෙරළබඩ ප්‍රදේශ, කලපු සහ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව අධි අවදානම් කලාප 10 බැගින් හඳුනාගෙන මූලික තක්සේරුවක් සිදු කිරීමට මෙහිදී තීරණය කර ඇත. හඳුනාගත් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා තාක්ෂණික කාර්ය කණ්ඩායම් පහක් පිහිටුවීමටද නියමිතය.

වගකිවයුතු ආයතන අතර පවතින වගකීම් අතිච්ඡාදනය වීම් සහ දුර්වලතා මඟහරවා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම යටතේ, සමස්ත යාන්ත්‍රණය අධීක්ෂණයට විශේෂිත පාලන ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කෙරේ. ඊට දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් සහ මහජන ආරක්ෂක කමිටුවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමටද සැලසුම් කර තිබේ.

මේ අතර, පාසල් දරුවන්, තරුණ, ධීවර සහ සංචාරක ප්‍රජාවන් ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජල ආරක්ෂණ දැනුවත්භාවය ජාතික අධ්‍යාපන පද්ධතියේ විෂය බාහිර ක්‍රියාකාරකම්වල අනිවාර්ය අංගයක් ලෙස ඇතුළත් කිරීමටත් සාකච්ඡාවේදී යෝජනා වී ඇත.