පසුගිය 04 වනදා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණ තුනක් නිරීක්ෂණය කරමින් “Metro Uplift” නවීකරණ වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහනේ අරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස නවීකරණය කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද මහල් නිවාස සංකීර්ණවල දිගුකාලීන ගැටලු නිරාකරණය සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මාලිගාවත්ත නැගෙනහිර පිහිටි ”ලක්හිරු සෙවණ” නිවාස සංකීර්ණයේ විදුලි සෝපාන, ගිනි නිවීම් පද්ධතිය, ජල ටැංකි සහ ආරක්ෂිත කැමරා යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡා කළේය. එමෙන්ම ”ලක්සෙත සෙවණ” සහ ”සියසෙත සෙවණ” නිවාස සංකීර්ණවල දිරාපත් වහල, ගිලා බැස ඇති පදික වේදිකා, විදුලි ආලෝක පද්ධති, පොම්පාගාර සහ මලාපවහන පද්ධති අලුත්වැඩියාව පිළිබඳව අවධානය යොමු කරන ලදී.

අමාත්‍යවරයා වැඩසටහන පිළිබඳව අදහස් දැක්වියදී, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ”27 මහල් නිවාස සංකීර්ණ” අතරින් 24ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින්, 3ක් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් පාලනය වන බව සඳහන් කළේය. අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ජනතාවට ගැටලු ඇතිවූ බවත්, නව රජය බලයට පත් වූ පසු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට විශේෂ මැදිහත්වීමක් සිදු කරන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම වසර තුළ ”රුපියල් මිලියන 1,160” ක මුදල වෙන්කර නවීකරණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, ජන සහභාගීත්වය ඇතිව ‘ප්‍රජා කමිටු’ මගින් ප්‍රමුඛතාවයන් හඳුනාගෙන ආරක්ෂිත හා සුවපහසු වාසස්ථාන බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළේය.