දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (28) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනයේදී වැඩිම පීඩාවට ලක් වූයේ දරිද්‍රතාවෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව බවත්, ග්‍රාමීය ජන ජීවිතය සමග සම්බන්ධ යටිතල පහසුකම් සහ ජීවනෝපායමාර්ග විශාල ලෙස බිඳ වැටුණු බවත් පෙන්වා දෙමින්, ඔවුන් ආරක්ෂා කර ගන්නා අතර යළි ජීවනෝපාමාර්ග සකස් කර දීම වෙනුවෙන් රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙහිදී ජනපති විසින් සදහන් කරන ලදී.
සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන ආර්ථික ජයග්‍රහණ සැබෑ ලෙසම සාමාන්‍ය ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවත්, පාස්කු ප්‍රහාරය, පසුගිය ආර්ථික කඩා වැටීම ඇතුළු තත්ත්ව හමුවේ දිගුකලක් පීඩාවට පත් සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟීම වෙනුවෙන් වූ වැඩසටහන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් රටේ ආර්ථිකය අඛණ්ඩව සහ ස්ථාවරව ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බවත් වැඩිදුරටත් එතුමා පෙන්වා දුනි.
ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනයට සහ ජන ජීවිතය යළි ගොඩනැඟීමට රජය ගත් කඩිනම් පියවර මෙහිදී ඇගයීමට ලක් වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටද මෙහිදී දෙපාර්ශ්වයේ එකඟතාව පළ කෙරිණි.






