ලෝකයේ ඇති වන ඕනෑම යුද්ධයකදී මනුෂ්‍යත්වයේ කොඩිය ඉදිරියට ගත් ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය යන පණිවුඩය ලෝකයට ගෙන යන බව අද (08) දින කොළඹ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරන ලදී.

ලොවෙහි දියුණු රටවල් අතරින් මෙරට කුමන ආර්ථික ගැටලුවලට මුහුණ දුන්න ද මනුෂ්‍යත්වයෙන් පිරි ජනතාවක් ජීවත් වන එකම රට ශ්‍රී ලංකාව යන සන්නාමය ලොවට රැගෙන යන බව ද එතුමා ප්‍රකාශ කළේය.

සියලු ජනතාවට භේදයකින් තොර ව, සහකම්පනයෙන් සලකන රාජ්‍යයක් බවට පත් කිරීමේ දී මෙරට දරුවන්ට සහ කාන්තාවන්ට වැදගත් ස්ථානයක් හිමි වන බවත්, ආණ්ඩුවක් සහ පාලනයක් කෙතරම් හොඳ යැයි මැනීමට හැකි හොඳම නිර්ණායකය වන්නේ රටේ කාන්තාවන් මොන තරම් ප්‍රමාණයකින් ආණ්ඩුව සමග සිටිනේද යන සාධකය බවත් ජනපති සඳහන් ක‍රන ලදී.

එසේම වත්මන් ආණ්ඩුවේ පාලනය පිළිබඳ හා ආණ්ඩුකරණය පිළිබඳ ව මේ රටේ තියෙන පොදු විශ්වාසයේ සංකේතයක් ලෙස අද දින මෙම අවස්ථාවට එක් ව සිටි දහස් ගණනක් කාන්තාවන් ඔප්පු කර ඇති බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.