ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව ජනවරමට අනුව ක්‍රියාත්මක කරන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරන ලදී.

ආණ්ඩුව තනිවී නොමැති බවත්, තම බලය ලැබී ඇත්තේ ජනතාවගෙන් බැවින් ජනවරමට අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අදාළ කරුණු සම්බන්ධයෙන් නීතිඥ සංගමය, අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් අදහස් ලබාගන්නා බවද ඔහු පැවසීය.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවත්, එවැනි සංශෝධන සිදු කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටේ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් ජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කිරීම අරමුණ බවද ඔහු සඳහන් කළේය. වසර ගණනාවක් නඩු කටයුතු හේතුවෙන් ජනතාව පීඩාවට පත්වන තත්ත්වය අවම කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවද අමාත්‍ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් පැවසීය.