මධ්‍යම කඳුකර ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හමුවේ වික්ටොරියා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට එහි වාන් දොරටු හයක් (06) ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.

මහවැලි අධිකාරියේ වික්ටොරියා ජලාශ භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය ප්‍රකාශ කළේ, ජලාශයේ වත්මන් ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438.12 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අනුව ජලාශයේ G1, G2, G3, G4, G5 සහ G6 යන වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර, G7 සහ G8 යන වාන් දොරටු මෙතෙක් විවෘත වී නොමැත.

අදාළ වාන් දොරටු විවෘත වීමත් සමඟ තත්පරයට කියුබික් මීටර් 504ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හැරෙමින් පවතින බව නිලධාරීහු සඳහන් කරති.

ඒ අනුව G1 දොරටුව මීටර් 0.731ක්, G2 දොරටුව මීටර් 0.746ක්, G3 දොරටුව මීටර් 0.770ක්, G4 දොරටුව මීටර් 0.708ක්, G5 දොරටුව මීටර් 0.677ක් සහ G6 දොරටුව මීටර් 0.716ක් වශයෙන් විවෘත වී ඇති බව වාර්තා වේ.

වික්ටොරියා ජලාශයෙන් ජලය මුදා හැරීම හේතුවෙන් මහවැලි ගඟේ පහළ ධාරාවේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතී. එම බැවින් මහවැලි ගඟ දෙපස හා පහත් බිම්වල වෙසෙන ජනතාව මෙන්ම ගඟ පරිහරණය කරන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.