එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනත යටතේ එල්ල වූ චෝදනා තුනකට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට, දඬුවම් නියම කිරීමේ තීන්දුව නොවැම්බර් 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරදකරු බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉකුත් 28 වන දින අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබූ අතර, ඒ අනුව දඬුවම් නියම කිරීම සඳහා නඩුව අද දින තෙක් කල් තබා තිබුණි.

කොළඹ පෞද්ගලික හෝටලයක අතහැර දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සොයාගන්නා ලද මෙම ජර්මන් නිෂ්පාදිත BMW වර්ගයේ රථය රාජසන්තක කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මීට පෙර අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

චූදිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පෙනී සිටි අතර දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය දඬුවම් නියම කිරීම මෙලෙස කල් තැබීය.