මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 26 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය. ඒ, නොවැම්බර් 12 වැනිදා මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ පිට කොන්ද ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් තම සේවාදායකයාට එදින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය එදින අවසන් කිරීමට අපේක්ෂා කළ බවයි. තවත් සාක්ෂිකරුවන් තිදෙනකු කැඳවීමට ඉතිරිව සිටින බව ඔහු දැනුම් දුන් අතර, නොවැම්බර් 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා එම සාක්ෂිකරුවන්ට නියම කළේය.

නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත්තේ නීතිවිරෝධී ලෙස උපයාගත් බවට චෝදනා කරන මුදල් යොදවා දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල ඉඩම් කැබලි පහක් මිලදී ගත් බවට යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කරමිනි.