බෝල්ටික් මුහුදු කලාපයට අයත් ෆින්ලන්ත බොක්කේදී රුසියානු යුද නෞකාවක් ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව ෆින්ලන්ත බලධාරීන් තහවුරු කර තිබේ. රුසියාවේ ‘උස්ට්-ලුගා’ තෙල් අපනයන පර්යන්තය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කළ පුළුල් ඩ්‍රෝන මෙහෙයුමකදී ‘නාරෝ-ෆෝමින්ස්ක්’ නමැති මෙම නෞකාවට පහර දුන් බව යුක්රේන ආරක්ෂක සේවාව (SBU) ප්‍රකාශ කර ඇත.
මෙම නෞකාව ‘කැලිබර්’ සහ ‘ඔනික්ස්’ වර්ගයේ කෲස් මිසයිල රැගෙන යා හැකි ‘බුයාන්-එම්’ වර්ගයේ යාත්‍රාවක් බව යුක්රේන ආරක්ෂක අංශ පෙන්වා දෙයි. ප්‍රහාරයෙන් පසු නෞකාවෙන් දුම් පිටවන අයුරු නිරීක්ෂණය වූ බවත්, අනතුරුව එය ශාන්ත පීටර්ස්බර්ග් දෙසට යාත්‍රා කළ බවත් එස්තෝනියානු ආරක්ෂක අමාත්‍ය මාර්ටින් හෙරෙම් පවසා තිබේ. කෙසේ වෙතත් සිදුවූ නිශ්චිත හානිය හෝ ජීවිත හානි මෙතෙක් තහවුරු වී නොමැත.
මෙම ප්‍රහාරයත් සමඟ ‘උස්ට්-ලුගා’ තෙල් පර්යන්තයේ ගබඩා ටැංකි කිහිපයකද ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. 2022 වසරේදී රුසියානු-යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු කළු මුහුදෙන් ඔබ්බට ගොස් සිවිල් නාවික කලාපයක් වන බෝල්ටික් මුහුදේ රුසියානු නාවික හමුදා යාත්‍රාවකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆින්ලන්ත විදේශ අමාත්‍ය එලීනා වැල්ටෝනන් සඳහන් කර ඇත්තේ කලාපයේ නාවික ගමනාගමනයට බාධාවක් නොමැති බවයි. මේ අතර, ප්‍රහාරය සඳහා බෝල්ටික් රටවල ගුවන් සීමාව භාවිත කළ බවට රුසියාව නගන චෝදනා පදනම් විරහිත බව යුක්රේන විදේශ අමාත්‍යාංශය පවසයි.





