අනුරාධපුර රුවන්වැලි මහාසෑය අසල ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ගැටුමේදී තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් වෙත පැමිණි මහේස්ත්‍රාත්වරයා ඔවුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් සියලුදෙනා මානසික වෛද්‍ය පරීක්ෂණයකට මෙන්ම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය. අත්අඩංගුවට පත් වූ පිරිස මේ වන විට පොලිස් සහ බන්ධනාගාර ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් තෙනමක් රුවන්වැලි සෑය අභියස උපවාසයක් ආරම්භ කර තිබූ අතර, ත්‍රිකුණාමලය බුදු පිළිම නඩුවකට අදාළව අධිකරණය මගහැරීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව ත්‍රිකුණාමල මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුවක්ද නිකුත් කර තිබුණි. කෙසේවෙතත් එම අධිකරණ නියෝගය තමන් පිළිනොගන්නා බව උන්වහන්සේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.