ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සමාලෝචනය කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් අද (20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී සාකච්ඡා කළේය.

මෙම කණ්ඩායම අමාත්‍යවරයාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණ ඇති අතර, එය අප්‍රේල් 24 දක්වා මෙරට රැඳී සිටිමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිතය.
සාකච්ඡාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතාද සහභාගී විය.

අමාත්‍යවරයා විසින් “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව විශේෂඥයන්ට විස්තර කරනු ලැබීය. එම මධ්‍යස්ථානවල අරමුණ බෝ නොවන රෝග පාලනය, රෝග කල්තියා හඳුනා ගැනීම, සහ ග්‍රාමීය මට්ටමින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම බවද අවධාරණය කරන ලදි.

අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ, මෙම මධ්‍යස්ථාන මගින් පිළිකා කල්තියා හඳුනා ගැනීම, වැඩිහිටි සහන සත්කාර, පෝෂණ උපදේශන සේවා, රසායනාගාර පරීක්ෂණ සහ විශේෂිත සායන සේවා ලබාදීමේ හැකියාව ඇති බවයි.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් නවීකරණය කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රජය අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.