මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාවට පවතින ප්‍රවේශය අඛණ්ඩව ආරක්ෂා කළ යුතු බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරන ලදී.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, දූෂණ විරෝධී පනත යටතේ දේශපාලනඥයන් ඇතුළු 60,000කට ආසන්න පිරිසක් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම නීතිමය වශයෙන් අනිවාර්ය කර ඇති බවය.

එමෙන්ම, එම තොරතුරු වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට ලබාගැනීමේ හැකියාව ලබාදීම විනිවිදභාවය තහවුරු කළ වැදගත් පියවරක් බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයන් සහ මාධ්‍ය මගින් එම තොරතුරු විකෘති කර භාවිත කිරීම හේතුවෙන් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත්, මහජන නියෝජිතයන්ගේ වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාවගේ දැනගැනීමේ අයිතිය සීමා නොකළ යුතු බවත්, එහෙත් රජයේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ තොරතුරු සඳහා ප්‍රවේශය යම් සීමාවකට යටත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.