පමුණුගම නුගපේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකාර මවක සහ පුතකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 480ක්, නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා හිස් බැරල් 24ක් සහ තඹ දඟර 3ක් පොලිස් භාරයට ගත් බව පමුණුගම පොලිසිය සඳහන් කරයි.
පමුණුගම පොලිසිය, මීගමුව කොට්ඨාස බුද්ධි අංශය, බස්නාහිර පළාත් බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඒකාබද්ධව ඩ්‍රෝන යානා යොදා ගනිමින් නිරීක්ෂණ සහ වැටලීම් සිදු කරමින් සිටියදී, විශේෂ කාර්ය බලකාය යොමු කළ ඩ්‍රෝන යානයේ තවත් ඩ්‍රෝන යානයක් ගැටී ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව මීගමුව කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපතිවරයා විසින් එම ඩ්‍රෝන යානයට වෙඩි තබා ඇත.
අනතුරුව සිදු කළ විමර්ශනවලදී එම ඩ්‍රෝන යානය නුගපේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසකින් ගුවන් ගත කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වූ බවත්, එම නිවස පරීක්ෂා කර ඩ්‍රෝන යානය භාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.


