ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිතව සකස් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපාදන ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය(18) දා සිදු කෙරිණි.

මේ සඳහා සහභාගී වූ අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරන ලද්දේ, මගී ප්‍රවාහන බස් රථ අනතුරු සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයන්හිදී බරපතළ අනතුරුවලට ලක්වූ බස් රථ රැසක තාක්ෂණික දෝෂ පැවති බව අනාවරණය වී ඇති බවය.

අනතුරු සම්බන්ධයෙන් පොලිස් වාර්තා, වෛද්‍ය වාර්තා සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ඇතුළු තොරතුරු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ අවබෝධයක් ලබාගත් බව සඳහන් කළ ඔහු,
විශාල පිරිසක් මියගිය බස් රථ අනතුරු කිහිපයකදීම බස් රථවල බරපතළ කාර්මික දෝෂ පැවති බවද ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් කිලෝමීටර් 5,000කට වැඩි දුරක් ධාවනය කරන මගී ප්‍රවාහන වාහන සඳහා මසකට වරක් මාර්ග සුරක්ෂිතතා හා යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකර සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කර ඇති බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

එම නීති සියලුම මගී ප්‍රවාහන වාහන සඳහා අදාළ වන බවත්, නීතිවලට පටහැනිව මාර්ගයට වාහන ධාවනය නොකරන ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>