බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය නීතිඥවරයකු මාර්ගයෙන් නවදිල්ලියේ පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව NDTV උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ෂෙයික් හසීනාගේ නීති නියෝජිතයා වන ලන්ඩනයේ මැට්රික්ස් චේම්බර්ස් ආයතනයේ නීතිඥ ස්ටීවන් පවුල්ස් විසින් නොවැම්බර් 19 වැනිදා නවදිල්ලියේ වැඩබලන බංග්ලාදේශ මහ කොමසාරිස් ප්‍රීති රහ්මාන් වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබේ. නොවැම්බර් 9 වැනිදා යොමු කළ මූලික ලිපියට අදාළ පසු විපරමක් ලෙස එම ලිපිය යවා ඇති අතර, ඒ සඳහා කඩිනම් ප්‍රතිචාරයක් ලබා දෙන ලෙසද ඉල්ලා ඇති බව සඳහන් වේ. අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට තමන්ට නීතිමය බලය පවරමින් ෂෙයික් හසීනා අත්සන් කළ බලය පැවරීමේ ලේඛනයක්ද නීතිඥවරයා මහ කොමසාරිස් කාර්යාලයට භාර දී ඇත.
2024 වසරේ බංග්ලාදේශයේ ඇති වූ මහජන විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා එතැන් සිට ඉන්දියාවේ රැඳී සිටියි. මේ අතර, 2024 විරෝධතාකරුවන් මර්දනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනාවලට වරදකරු කරමින් බංග්ලාදේශ අධිකරණයක් විසින් ඇයට මරණ දඬුවම නියම කර ඇති බවද වාර්තා වේ.
එවැනි පසුබිමක ෂෙයික් හසීනා එළඹෙන දෙසැම්බර් මාසයේදී යළි බංග්ලාදේශයට පැමිණීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වුවද, ඇය යළි බංග්ලාදේශයට පැමිණියහොත් අධිකරණය නියම කළ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව එරට රජයේ නීතිඥවරයකු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.



