දකුණු චීන මුහුද ආශ්‍රිතව පවතින ආරක්ෂක අභියෝග හමුවේ පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව අතර නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු චීන මුහුදු කලාපයේ චීනයේ බලපෑම් සහ ක්‍රියාකාරකම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් දෙරට අතර හමුදා සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම මෙහි මූලික අරමුණයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ සඳහා පිලිපීන ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ තියෝඩෝරෝ සහ ඕස්ට්‍රේලියානු තානාපති මාර්ක් ඉනස්-බ්‍රවුන් නිල වශයෙන් එක්ව තිබේ.

මෙම එකඟතාව යටතේ දෙරටේ සමුද්‍රීය, ගුවන් මෙන්ම ගොඩබිම් හමුදා අතර ඒකාබද්ධ පුහුණු අභ්‍යාස පැවැත්වීම, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ දෙරටේ ආරක්ෂක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම තවදුරටත් පුළුල් කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, පිලිපීනය සිය මිත්‍ර පාර්ශ්ව සමඟ එක්ව මෙවැනි ඒකාබද්ධ ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් කලාපීය සාමයට බාධා එල්ල වන බව පවසමින් චීනය සිය විරෝධය එල්ල කර ඇත.