පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා විරෝධය ඇති වූයේ ආහාර පාන නිසා නොව, රට හදනවා වෙනුවට රට විනාශ කළ අතීත දේශපාලන සංස්කෘතිය නිසා බව අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (22) දින පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. වත්මන් රජය යටතේ රටේ නායකත්වය සිය වියදම් සහ නාස්තිය අඩු කරමින් දේශපාලන සංස්කෘතියේ සැබෑ පරිවර්තනයක් ඇති කරමින් සිටින බවද ඔහු පැවසීය.
කතාව ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ලේබල් අලවා මතයක් ගොඩනැඟීමට ගන්නා උත්සාහයන් පිළිබඳවය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලවලට සහන මිලට ආහාර සැපයීම බොහෝ රටවල පවතින තත්ත්වයක් වුවද, අතීතයේ සමහර කථානායකවරුන් පාර්ලිමේන්තු මුදලින් පෞද්ගලික කටයුතු සහ නෑදෑයන් වෙනුවෙන් පවා වියදම් කළ අවස්ථා තිබියදීත් ඒවාට විශ්වාසභංග යෝජනා නොගෙනා බව ඔහු කීය. 1950–60 දශකවල ඇතැම් දේශපාලනඥයන් යම් සේවයක් කළද, පසුකාලීනව පවුල් දේශපාලනය හා නාස්තිය වර්ධනය වී රට බංකොලොත් තත්ත්වයට පත් කළ බව අමාත්‍යවරයා පැවසීය.
2010 පමණ වන විට රට විනාශ කරමින් තිබූ පසුබිමක, මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා සාධාරණ මුදලක් අය කරන ලෙස තමන් ඇතුළු මන්ත්‍රීවරුන් දස දෙනකු මුලින්ම ලිපියකින් ඉල්ලා සිටි බව බිමල් රත්නායක සඳහන් කළේය. රට විනාශ කරමින් නොමිලේ වරප්‍රසාද භුක්ති විඳීමට මහජනතාව විරුද්ධ වූ බවද ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ කාලවල රාජ්‍ය දේපළ, තෑගි භාණ්ඩ සහ නාස්තිය පිළිබඳවද අදහස් දැක්වූ ඔහු, ජනාධිපති අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වියදම් සැලකිය යුතු ලෙස අඩු කර ඇති බව පෙන්වා දුන්නේය. ඉහළ නායකත්වය වියදම් සහ නාස්තිය අඩු කරන විට පහළ මට්ටම්වල නාස්තිය හා අක්‍රමිකතාද ක්‍රමයෙන් අඩු වන බව ඔහු අවධාරණය කළේය. විශ්‍රාම වැටුප් වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීම ඇතුළු පියවර ගත්තේ ආණ්ඩු පක්ෂය බවත්, ආහාර සඳහා සාධාරණ පිරිවැයක් අය කළ යුතු බව මුලින්ම යෝජනා කළේ තමන් බවත් ඔහු සඳහන් කළේය.
මෙම කාලය තුළ සිදු වූ විශාලතම වෙනස දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය බව පැවසූ අමාත්‍යවරයා, මන්ත්‍රීවරුන්ගේ ගැටලුවලට අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස් සවන් දෙමින් පිළිතුරු ලබා දෙන සංස්කෘතියක් ගොඩනැඟෙමින් තිබෙන බවද කීය. පාර්ලිමේන්තුවේ පොදු පහසුකම්, කැන්ටින් සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව මෙන්ම නිවාඩු මුදල් බවට පත් කිරීමේ (leave encashment) ක්‍රමවේදයන්හි සීමාවන් ගැනද ඔහු කරුණු දැක්වීය. අතීතයේ පැවති නුසුදුසු දේශපාලන හැසිරීම් සිහිපත් කළ අමාත්‍යවරයා, ජනවරමට ගරු කරමින් නිහතමානීව කටයුතු කරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.



