ස්පාඤ්ඤයේ උග්‍ර වෙමින් පවතින නිවාස අර්බුදයට විරෝධය පළ කරමින් එරට සේවකයින් අද (11) පැය 24ක දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

වසර 14කට පසු ස්පාඤ්ඤයේ ප්‍රධානතම වෘත්තීය සමිති වන UGT සහ CCOO මෙන්ම අනෙකුත් කම්කරු සංවිධාන හා කුලී නිවාස හිමියන්ගේ සංගම් එක්ව මෙම වැඩවර්ජනයට සහාය දක්වා තිබේ.

නිවාස කුලී ඉහළ යාම සහ නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම් ඉහළ යාම හමුවේ, යහපත් නිවාස පහසුකම් ලබාගත හැකි වැටුප් මට්ටමක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද සේවකයින් වැඩවර්ජනයට එක්වෙමින් විවිධ ස්ථානවල විරෝධතාවල නිරත වන බව සඳහන් වේ.

මැඩ්රිඩ් නුවර ප්‍රධාන තොග වෙළෙඳපොළක් වන Mercamadrid පිවිසුම අසල විරෝධතාවයේ නිරත වූ වෘත්තීය සමිති සාමාජිකයින් සහ පොලිසිය අතර ගැටුම් ද හටගෙන ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.