රටේ දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සහ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රමවත්ව අවසන් කිරීම සඳහා රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ පසුගිය කාලය තුළ ග්‍රාමීය පාලම් සහ කුඩා මාර්ග රැසක් ඉදිකර ජනතා අයිතියට පත් කර ඇති අතර, දීර්ඝ කාලයක් ප්‍රමාද වූ මහා පරිමාණ ව්‍යාපෘතිද ක්‍රමයෙන් අවසන් කරමින් පවතින බවය. 2015–2016 කාලයේ අනුමැතිය ලැබී වසර දහයක් ගතව තිබියදීත් නිම නොකළ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත–මීරිගම කොටස ලබන වසරේදී අවසන් කිරීමට කටයුතු කරන බවත්, ආරම්භ කර ඇති අනෙකුත් ව්‍යාපෘති ඉදිරි වසර දෙක ඇතුළත ජනතාවට ලබා දීමට හැකි වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
දුම්රිය හරස් මාර්ග පිළිබඳව කරුණු දක්වමින් ප්‍රසන්න ගුණසේන මහතා පැහැදිලි කළේ දිවයිනේ ඇති දුම්රිය ගේට්ටු 1,200කට ආසන්න ප්‍රමාණයෙන් 400ක් පමණ සීනු සහ ආලෝක සංඥා සමඟ ගේට්ටු ක්‍රියාත්මක වන ඒවා බවය. තවත් 400ක් පමණ සීනු සහ ආලෝක සංඥා පමණක් සහිත ඒවා වන අතර, සෙසු 400 පමණ බැම්බු ගේට්ටු ක්‍රියාකරුවන් මඟින් ක්‍රියාත්මක වන ඒවා බවද ඔහු සඳහන් කළේය.
මේ වසරේ වෙන් කළ ප්‍රතිපාදන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ඔස්සේ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගේට්ටු සංවර්ධනයට මූලිකත්වය දී ඇති අතර, වසර අවසන් වන විට එම කටයුතු නිම කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. එසේම බැම්බු ගේට්ටු පවතින 400ක පමණ ස්ථානද ඉදිරි වසර දෙක තුළ සංඥා සහිත ගේට්ටු පද්ධති යටතට ගෙන ඒමට රජය සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





