බලපත්‍රයක් නොමැතිව කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීමේ නඩුවලදී වරදකරු වූ හැටන් ප්‍රදේශයේ 48 හැවිරිදි විත්තිකරුවකුට බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නොවැම්බර් 26 වැනිදා නියම කළේය.

කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය විසින් පවරා තිබූ නඩු තුනකට අදාළව රුපියල් 2,155,000ක්, රුපියල් 1,117,400ක් සහ රුපියල් 1,096,800ක් වශයෙන් මුදල් වංචා කළ බව සඳහන් වේ. බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනීම, වංචා කිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ එම නඩු පවරා තිබිණි.

එම චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුට වෙන වෙනම ගෙවී යන පරිදි දඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරයා, විදේශ රැකියා සඳහා බලපත්‍ර නොමැතිව මුදල් ලබා ගැනීමේ චෝදනාවට මාස 06ක, වංචා කිරීමේ චෝදනාවට මාස 12ක සහ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට මාස 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. ඊට අමතරව අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කර ඇත.

කෙසේ වෙතත් දඬුවම් නියම කරන අවස්ථාවේ විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක්ද නිකුත් කළ බව සඳහන් වේ.