කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නොවැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව තුළ දැඩි මත ගැටුමක් නිර්මාණය විය.

යෝජනාව ස්ථාවර නියෝගවලට අනුකූලව ඉදිරිපත් කර ඇත්නම් එය විවාද කිරීමට ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස සභාව හමුවේ ප්‍රකාශ කළේය.නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අධිකරණයේ දැනට සලකා බලන කරුණු විශ්වාසභංග යෝජනාවකට ඇතුළත් කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, නිසි පරිදි යෝජනාව ඉදිරිපත් කළහොත් එය විවාද කර පරාජය කිරීමට තම පාර්ශ්වය සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තු නිල නිවේදනයකට අනුව, යෝජනාවේ ඇතැම් කරුණු සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයක් මත විපක්ෂයට දැනුම් දී තිබිණි. සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් නොවීම හේතුවෙන් නොවැම්බර් 03 වැනිදා විවාදය නොපැවැත්වීමට තීරණය කර ඇත.

ආණ්ඩුවේ මෙම ස්ථාවරයට විපක්ෂය දැඩි විරෝධය පළ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, යෝජනාව විවාදයට නොගැනීම මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු අයිතිවාසිකම්වලට සෘජුවම බලපාන බවයි. මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද අධිකරණ කරුණු පදනම් කරගෙන විවාදය නොපැවැත්වීම ප්‍රශ්න කළේය.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්න පහක් ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සඳහන් කළේය. ඒවා අධ්‍යයනය කිරීමට තමන්ට කාලය අවශ්‍ය බව ඔහු පැවසීය. වරප්‍රසාද ප්‍රශ්නවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව විපක්ෂ මන්ත්‍රීවරු අවධාරණය කළ අතර, ඒවා සාකච්ඡා කිරීමට මුලසුනේ අවසරය අවශ්‍ය බව නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.