සමාජ ජාල සහ පණිවුඩ සේවා (WhatsApp) යොදා ගනිමින් ද ලිංගික කටයුතු සඳහා කාන්තාවන් අලෙවි කිරීම සිදු වන බව හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින්. කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවලට අමතරව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් ඔස්සේ නිරුවත් ඡායාරූප, අසභ්‍ය වීඩියෝ දර්ශන, නිල් චිත්‍රපටි හුවමාරු කර ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

අන්තර්ජාලය තුළ සැරිසරමින් අපරාධකරුවන් හඹා යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් පරිගණක අපරාධ ඒකකය, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ළමා හා කාන්තා කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළා.