පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන “උඩින් පල්ලෙන් කරලා කිහිප දෙනෙකු උසාවියට ගෙන ඒමෙන්” විමර්ශන යට ගැසීමට උත්සහ නොදරන ලෙසට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ රජයට දන්වා සිටියහ.

එතුමන් මේ බව ප්‍රකාශ කළේ, අද අගරදගුරු නිල නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ හා විමර්ශන පිළිබඳව අදහස් ඇතුළත් ලිපියක් අද (13) දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකරන බව ද කාදිනල් හිමියෝ එහිදී පැවසූහ.

“අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා සක්‍රීය විමර්ශනයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි හැම දේශපාලන පක්ෂයකට ම දැන්වූවා. ඒ අයට අපේ හිතේ තියෙන දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා. ඒ දේශපාලන පක්ෂවල නායකත්වය අද වෙන තුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා, මේ විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට් එක යට දාන්න කටයුතු කරන්න එපා. නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ.”