වෙරළට ගොඩගසා ඇති කැස්බෑවන් මියගොස් ඇත්තේ මුහුදු ජලය මත තිබූ තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිව යැයි මුලින් හමු වූ කැස්බෑ සිරුරු පිළිබද කළ පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක පැවසීය.

සත්ත්ව ශරීර විශාල ප්‍රමාණයක් හමු වී ඇතැයි කී අමාත්‍යවරයා ඒ සියල්ල පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන බව පැවසීය . ඒවායෙන් හෙළිවන තොරතුරු මත වැඩිදුර පරීක්ෂණ සදහාද අමාත්‍යාංශය සුදානම් වන බව ඔහු පැවසීය .

සමුද්‍ර ජිවීන් අයත් වන්නේ වනජීවි අමාත්‍යාංශයට බවත් , ඒ අනුව මෙම සිද්ධිය පිළිබද පුළුල් පරීක්ෂණ සදහා පියවර ගන්නැයි අදාළ අංශ වලට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය .

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ සදහා මෙරට ඇති පර්යේෂණගාර ප්‍රමාණවත් නොවන බැවින් මිය ගිය සතුන්ගේ සාම්පල කොටස් සිංගප්පූරුවේ පර්යේෂණගාරයකට යැවීමට සූදානම් කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය .

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත