ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහ සභාව සහ ආශ්රිත වැඩසටහන් සඳහා MTV චැනලයට ලබාදුන් රුපියල් මිලියන 104.6ක අනුග්‍රහය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත. නොවැම්බර් 03 වැනිදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා පැහැදිලි කළේ, රුපියල් 104,603,876ක මෙම අනුග්‍රහය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා ලබා දී ඇති බවයි. මෙය භාණ්ඩාගාරයෙන් සෘජුව වෙන් කළ මුදලක් නොවන අතර, සංචාරක ක්ෂේත්රයට අදාළ අයකිරීම්වලින් ලැබෙන අරමුදල් මේ සඳහා යොදාගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, සමුළුවේ සත්කාරක විකාශන ආයතනය ලෙස MTV තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජය නොව, අදාළ සංගමයේ විධායක මණ්ඩලය විසින් බව ද ඔහු සඳහන් කළේය. අනුග්රහයේ වටිනාකම සැලකිල්ලට ගනිමින් මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.
ජාත්‍යන්තර ප්‍රචාරණය තුළින් සංචාරක ක්ෂේත්රයට ප්රතිලාභ ලබාගැනීම මෙම අනුග්රහයේ ප්‍රධාන අරමුණ බව රජයේ පැහැදිලි කිරීම විය.
සංචාරක බලධාරීන්ගේ ඇස්තමේන්තුව අනුව, මෙම වැඩසටහන හරහා රුපියල් මිලියන 250කට වැඩි මාධ්‍ය ප්‍රචාරණ වටිනාකමක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 03 දක්වා කොළඹදී පැවැත්වූ මෙම මහ සභාව සහ ආශ්රිත රැස්වීම් සඳහා MTV Sri Lanka සත්කාරක ආයතනය ලෙස කටයුතු කළේය.
මේ අතර, අදාළ මුදල් ලබාදීම පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව නොවැම්බර් 04 වැනිදා මාධ්‍ය වාර්තා කළේය. “ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්රියාකාරුවන්ගේ සංගමය” විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අනුග්‍රහය ලබාදීමේ නීතිමය පදනම සහ අනුමැති ක්‍රියාවලිය විමසන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී.





