එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදි නීති විරෝධී අයුරින් කණ්ඩායමේ ජෛව ආරක්ෂක බුබුළ උල්ලංඝණය වන අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා අද දහවල් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් , ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙලෙස දිවයිනට පැමිණ ඇත.

ඔවුන් අද දින දහවල් 01.15 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව දින 14 ක අනිවාර්ය නීරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාර දුන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේ.