එංගලන්ත තරගාවලියට එක්ව සිටියදී ජෛව ආරක්ෂක බුබුව බිඳ දැමූ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙත පනවා ඇති තහනම් හා දඩ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායකකමිටුව තීරණය කර තිබේ.

එම වාර්තාවේ සඳහන් කරුණු අනුව එම ක්‍රීඩකයන්ට බලපාන ආකාරය, ඔවුන් ජාතික කණ්ඩායමට දැක්වූ දායකත්වය සලකා බලමින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට විධායක කමිටුව තීරණය කර තිබේ.

ක්‍රීඩකයන් තිදෙනාටම රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක්

වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක්.

වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමින් පසුව ඔවුන්ට තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇති අතර එම තහනම වසර දෙකකට අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනයක්  

කෙසේ වෙතත් මේ පිළිබඳව සළකා බැලීම සඳහා පත්කර තිබූ කමිටුව විසින් කුසල්ට හා ධනුෂ්ක ගුණතිලකට ඩොලර් 25000 (ලක්ෂ 50) ක් හා වසර 2ක තහනමක්ද දික්වැල්ලට මාස 18 ක තහනමක් සමග ඩොලර් 25000 (ලක්ෂ 50)ක දඩයක් නියම කර තිබුණ බවට වාර්තා විය.

මේ අනුව ක්‍රිකට් විධායක කමිටුව විසින් එම දඩුවම් තරමක් ලිහිල් කර තිබේ. ඒ තහනම වසරකට අඩුකරමිනි. කෙසේ වෙතත් ඔවුන්ට පනවා ඇති දඩය රු ලක්ෂ 50කින් වැඩි කර තිබේ.