රට සහ ජනතාව සුරක්ෂිත කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හය වැදෑරුම් ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

අද (13) දෙඹරවැව තිස්සමහාරාම ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරයේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මූලික පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍යපාද සාලියපුර සුධර්ශන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායකතුමා ඉන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී විශේෂ කරුණු හයක් පිළිබඳව සිය අවධානය යොමු කරනු ලැබීය.

එම කරුණු හය මෙසේය.

ආර්ථිකය ද?ජීවිතද? වහාම රට වසා දමනු!

රට පත්ව ඇති බරපතල තත්ත්වය හමුවේ ආණ්ඩුව තීන්දු කළ යුත්තේ ‘ආර්ථිකයද ,ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය ඔක්සිජන් ද”යන කරුණු දෙකෙන් එකක් බවත්,වහාම රට වසා දමනවා හැර මේ මොහොතේ ජනතාව ජීවත් කිරීමට කිසිදු විකල්පයක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.මේ ව්‍යසනයෙන් ජීවිත බේරා ගැනීම කාටත් පැවරී ඇති වගකීම බවත්,ඉන් පසු ආර්ථිකය ගැන සිතිය හැකි බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල!

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සිය වැටුපෙන් දායකත්වය ලබා දෙමින් ජනතාව උදෙසා “සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල”අද ආරම්භ වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එය ප්‍රකාශයට පත්කරනු ලැබීය.

සමගි ජනබලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” සහ ජනසුවය ව්‍යාපෘතිය හරහා වට 22දී මේ වනවිට ලක්ෂ 640ක රෝහල් උපකරණ ලබා දී ඇත.ඊට සමගාමිව “සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල”ක්‍රියාත්මක කෙරන අතර එයින් කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව උදෙසා සෞඛ්‍යමය සහන සලසනු ඇත.

තුන්වෙනි එන්නත වහාම ගෙන්වීම!

මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව සිය අවධානය යොමුකළ විපක්ෂ නායකතුමා පැවසුවේ “එන්නත් තුන්වෙනි මාත්‍රාව”කඩිනමින්ම ඇනවුම් කළයුතු බවය.මේ වනවිටත් එන්නත් නොලද සියලු දෙනාම එන්නත්කරණය කිරීමේ වැදගත්ම ද විපක්ෂ නායකතුමා අවධාරණය කළේය.

ගෑස්මිල වැඩි කිරීමේ අමානුෂික තීන්දුව!

මේ දැඩි ව්‍යසනකාරී මොහොතේ ගෑස් මිල ඉහළ නංවා ඒ බර ජනතාව පිට පැටවීමට ආණ්ඩුව ගත් අමානුෂික තීන්දුව පිළිබඳව සිය බලවත් විරෝධය පල කළ විපක්ෂ නායකතුමා පවසා සිටියේ වහාම ගෑස් මිල අඩුකොට ජනතාවට සහන සැලසිය යුතු බවය.

සජබ කණ්ඩායම් රැස්වීම අවලංගුයි!

මේ අතර ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වහාම අත්හිටුවීමට විපක්ෂ නායකතුමා උපදෙස් දුන්නේය.ඒ බව විපක්ෂ නායකතුමා ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සභාවාරයද කල් තබන ලෙස ඉල්ලා සිටියේය.

මිත්‍යාව වෙනුවට රටට ඇත්ත කියන්න!

ආණ්ඩුව වහාම මේ මොහොතේ රටේ පවත්නා ඇත්ත තත්ත්වය රටට හෙළිදරව් කළයුතු බවත් එසේ නොකර ජනතාවට අසත්‍ය සහ මිත්‍යාව ඉදිරිපත් කිරීම ආණ්ඩුව නතර කළයුතු බවත් ඒ මහතා පැවසීය.
ආණ්ඩුව තමන්ට සුපුරුදු නාගයින් වැඩම කිරීම,පැණි ප්‍රචාරණය,මුට්ටි ගගට දැමීම වැනි මිත්‍යාවන්ගෙන් මිදී සත්‍ය ජනතාවට කිවයුතු බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සත්‍ය රටට පැවසීමේ වගකීමෙන් ආණ්ඩුව පලා නොයා යුතුබවත් ඉන් අනතුරුව සියලු දෙනා එක්ව මේ ව්‍යසනය ජය ගන්නට කටයුතු කරමුයැයි වන යෝජනාවත් විපක්ෂ නායකතුමා ඉදිරිපත් කළේය.