ශ්‍රී ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීමට සමත් වූ එකම රජය ජාතික ජන බලවේග රජය බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පක්ෂය සහ රජය සතු දැඩි මූල්‍ය විනය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමට හැකි වූ බවය. බලයට පත්වන අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට තරම් ප්‍රවීණත්වයක් සිය කණ්ඩායමට නොමැති බවට විපක්ෂය චෝදනා කළ බව සිහිපත් කළ ඔහු, ඒ සඳහා දක්ෂ හා ශක්තිමත් කණ්ඩායමක් යෙදවීමට රජය පියවර ගත් බව කීවේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයේ කිසිදු රජයකට නොහැකි වූ පරිදි ගෞරවනීය සහ වෘත්තීයමය පිළිවෙතකින් වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව අමාත්‍ය රත්නායක පැවසීය. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පවත්වා ගනිමින් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමූ ආකාරය ලොව අනෙකුත් වාමාංශික රාජ්‍යයන්හි නායකයන් පවා විමසා සිටි බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින්, සුබසාධන ප්‍රතිලාභ පුළුල් කරමින් සහ රාජ්‍ය වත්කම් විකිණීමෙන් වැළකී සිටිමින් දැඩි මූල්‍ය විනයක් සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන ගිය බව අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කළේය.