රුසියාවේ සැඟව සිටි සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සේපාල රත්නායක අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ නමැති සැකකරු අද (20) උදෑසන මෙරටට රැගෙන විත් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රුසියාවේදී අත්අඩංගුවට ගත් සැකකරු මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව, ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු 44 හැවිරිදි වියේ පසුවන්නෙකි.

ඔහු අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මදූෂ් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටත්, 2024 ජූලි 08 වැනිදා සිදු වූ ‘ක්ලබ් වසන්ත’ ඝාත#යට මෙන්ම 2016 අප්‍රේල් 29 වැනිදා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාත#යකටද සම්බන්ධ වී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් වේ.

මීට පෙර 2019 මාර්තු 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මාකඳුරේ මදූෂ්ගේ උපන් දින සාදයකදී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පිටුවහල් කර තිබූ සැකකරු, 2023 මැයි 03 වැනිදා ඇප මත නිදහස් වීමෙන් පසුව රුසියාව බලා ගොස් තිබිණි. එම පසුබිම තුළ මෙරට අධිකරණ කිහිපයක් මඟින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ බවද වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපොළේදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු දැඩි රැකවල් මධ්‍යයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන විත් තිබේ.