ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම පක්ෂයක් හැටියට සාකච්ඡා කරන්න, තීන්දු තීරණ ගන්න පුලුවන් ඒ අයට ආණ්ඩුව එක්ක ඉන්නවනම් ඉන්න පුළුවන් නැත්තං යන්න පුළුවන් අපි යන්න කියන්නෙත් නෑ ඉන්න කියන්නෙත් නෑ ගියා කියලා ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නම් නෑ කියලා මට ස්ථිරවම කියන්න පුළුවන් . වත්මන් රජය තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක් යැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය .

මහනුවර නුගවෙලදි පෙරේදා (10) පැවැති පති පොල් පැල බෙදා දීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දිලුම් අමුණුගම එසේ පවසමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .

දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංගයක් ගෙන අයට ඒවා ගෙනාවට පස්සේ ආණ්ඩුවට තිබෙන බලය බලාගන්න පුළුවන් වේවි .ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් වුණාට දිනන්න බෑ .

එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩු ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීම නිසා ඔවුන්ට ද පොදු පෙරමුණ සමඟ පසුගිය මහ මැතිවරණයේදී තරඟ කිරීමේ අවස්ථාව ලබා දුන්නා . එසේ නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළා නම් මන්ත්‍රී ආසන දෙකකට වඩා ජය ගැනීමේ හැකියාවක් ඔවුන්ට තිබුණේ නැහැ . ජනාධිපතිවරණයේදී ලබාදුන් සහය අගය කරන අතරම ඒ සඳහා අවශ්‍ය ගෞරවයද ඔවුන්ට ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .