රට පුරා සූම් මීටින් පැවැත්වීමේ තාක්ෂණය සඳහා අවශ්‍ය ආවරණය රජයට ලබා දිය හැකිනම් එක ශ්‍රේණියකට එක විෂයකට එක ගුරුවරයෙක් ඇති බවට තමන් කළ ප්‍රකාශය වරදවා තේරුම් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ තමන් කී දේ බස් සංගම්වත් වැරදියට තේරුම් නොගත්තත් ගුරු සංගම් වරදවා තේරුම් ගෙන ඇති බවයි.

“රට පුරා සූම් මීටින් පැවැත්වීමේ තාක්ෂණය සඳහා ආවරණය රජයට ලබා දෙන්න පුළුවන්නම් ගුරුවරුන් විශාල වශයෙන් අවශ්‍ය නෑ.එක විශයකට එක ශ්‍රේණියකට ගුරුවරයෙක් බැගින් හිටපුවාම ඒ අයට මුව රටටම උගන්වන්න පුළුවන් කියන එකයි මම කිව්වේ.

ඉතින් මම ආයේ අදත් කියනවා ඒක ඇත්තනේ. අපිට රට පුරා කනෙක්ෂන් එක ගොඩනගන්න පුළුවන් 1 සිට 12 දක්වා පංති තියෙන්නේ. විෂයන් ප්‍රමාණය අටයි හෝ දහයයි නම් ඒ සඳහා අවශ්‍ය ගුරුවරු හිටියාම උගන්වන්න පුළුවන් එතකොට වර්ජනයක් කළාට ප්‍රශ්නයක් නෑ කියලයි මම කිව්වේ.

ඒක වරදවා වටහාගෙන ප්‍රකාශ නිකත් කරන්නේ. ඒක අදටත් එහෙමමයි. කෙටි කාලයක් තුළ ඔන්ලයින් පහසුකම් දෙන්න බෑ. ඔන්ලයින් ඉගැන්වීමත් අසාර්ථකයි.මෙයින් ගොඩවීමට තිබෙන එකම ක්‍රමවේදය එන්නත් කිරීම වේගවත් කර පාසල් නැවත විවෘත කිරීමයි විසඳුම. මම කියපු එක බස් සංගම්වත් වැරදියට තේරුම් ගත්තේ නෑ. ගුරු සංගම් වැරදියට තේරුම් ගැනීමයි ගැටලුව.”