සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ බලය අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමන් සතුකර ගැනීමට සමත් වුණා.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජීවව සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරීමෙන් පසුව මෙම තත්වය ඇතිවී තිබෙනවා.

නාවලපිටිය නගර සභාව සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 07ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙක්, ස්වාධින එක් මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වනවා.

සභාපතිවරයා ඉවත්කළ පසුව එම සභාවට සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද (15) මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්ගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.

අද දින සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලක පක්ෂයට සහයෝගය දැක්වු ස්වාධින කණ්ඩායම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමල් ප්‍රියංකර 5ට7ක් වශයෙන් වැඩි ඡන්දයෙන් සභාපතිවරයා වශයෙන් තේරීපත්වුණා.

නාවලපිටිය නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයාට සුභපැතීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද නගර සභාව වෙත පැමිණ සිටි අතර පසුව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නාවලපිටියේ ජයග්‍රහණය සමරමින් කිසිදු නිරෝධායන නීතියක් නොතකා මාර්ගය පුරා ගමන්කර තිබෙනවා.