අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදු කළ යුත්තේ, වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස , දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනේ සමාරම්භක උළෙලට එක්වෙමින්.

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එහෙත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බව ජනාධිපතිතුමා විසින් සඳහන් කළා.

උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරන බවත්, එහෙත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් තමා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බවයි ජනාධිපතිවරයා පැවසුවේ

පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහා ම වෙන් කළ යුතුය.

කෑගල්ලෙන් ඇරඹෙන පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.